ඇපකරු බන්ධනාගාරගත කිරීමට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම

තංගල්ල මහාධිකරණය විසින් මෙම නඩුවේ පෙත්සම්කරුව වසර 3ක බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරීමට එරෙහිව මෙම ප්‍රතිශෝධන පෙත්සම පෙත්සමකරු විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.

සිද්ධිමය කරුණු සැකෙවින්

මෙම නඩුවේ පෙත්සම්කරු මහාධිකරණය පවතින නඩුවක චුදිතයෙකු වන ගීගනගේ අමරසිංහ හෙවත් ජුලම්පිටිය අමරේ යන අයගේ  ඇපකරුවෙකු වේ.

ඉහත ජුලම්පිටිය අමරේ යන තැනැත්තා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා, මෙම නඩුවේ පෙත්සම්කරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 2012 මාර්තු 26 දින අධිකරණයට ඉරිපත් කර ඇත. ඉන්පසු චුදිතයාව 2020 අප්‍රේල් 23 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කල් ලබා දෙමින් පෙත්සම්කරුව මුදා හැර ඇත. ඒ අනුව පෙත්සම්කරු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් චුදිතයාව 2020 අප්‍රේල් 23 දින අධිකරණයට ඉදිරිපත් කර ඇත.

චුදිතයා ඉදිරිපත් කල අවස්ථාවේදී ගරු මහාධිකරණ විනිසුරු අධිකරණයේ ප්‍රකාශ කර ඇත්තේ අදාල චුදිතයා දරුණු හැසිරීමකින් යුක්ත පුද්ගලයෙකු වන බවත් ඔහු T56 ආයුධ තබා ගනිමින් දිගින් දිගටම වැරදි සිදු කරන පුද්ගලයෙකු බවයි. ඒ අනුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කල යුතු බව ප්‍රකාශ කර ඇත. එහෙත් විනිසුරුවරයා සිය මතය තවදුරටත් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ චුදිතයා බන්ධනාගාර ගත කිරීමෙන් අනෙකුත් සිරකරුවන්ගේ සුභ සිද්ධියට හානියක් වන බවයි. ඒ අනුව ඔහුගේ ඇප අවලංගු නොකර ඔහුව මුදා හැර ඇත.

එහෙත් ගරු මහාධිකරණ විනිසුරු විසින් චුදිතයාට නම් කරන ලද පන්සලක හතර පෝයට සිල් ගැනීමටත් චුදිතය සතු T56 ගිනි අවි දෙක 2012 අප්‍රේල් 30 දින ලබා දීමටත් නියෝග කර ඇත.

ඉන්පසු එනම් 2012 අප්‍රේල් 30 දින චුදිතයා නැවත අධිකරණයට ඉදිරිපත් වී නොමැති අතර ඇපකරු වන මෙම නඩුවේ පෙත්සම්කරු එදින අධිකරණයේ පෙනී සිට ඇත. එහිදී මහාධිකරණ විනිසුරුතුමා ඇප බැදුම්කරයේ වටිනාකම ගෙවීමට නොහැකි වීම යන හේතුව මත පෙත්සම්කරුව වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දී ඇත.

තීන්දුවේ වැදගත් කරුණු

මෙම නඩුවේදී අභියාචනාධිකරණය දීර්ඝ ලෙස සිද්ධිමය කරුණු විශ්ලේෂණය කරමින් සලකා බලන ලද ප්‍රධානම නෛතික කරුණ වුයේ පවතින කරුණු මත ඇප බැදුම්කරය රාජසන්තක වූ වා සේ සැලකීම නිත්‍යානුකුල තීන්දුවක්ද යන්නයි

ඇප බැදුම්කරයක් පැනවීමේන් චුදිතයාව ඇපකරුගේ සුපරීක්ෂණයට ලක්වන අතර පවුලේ ලගම ඥාතියෙකු ඇපකරු වීම නිසා චුදිතයාද අධිකරණය මග හැර නොයයි. පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කල මුල්ම අවස්ථාවේදීම ඔහුගේ ඇප බැදුම්කරය රාජසන්තක කලේනම් ඔහුට මෙම නඩුවේ විත්තිවාචකයක් නොමැත. එහෙත් පෙත්සම්කරුව මුදා හැරීමෙන් පසු අධිකරණයට අවනත වෙමින් චුදිතයාව අධිකරණයටද ඉදිරිපත් කර ඇත. ඉන්පසු අධිකරණය විසින් චුදිතයාගේ ඇප කොන්දේසි වෙනස් නොකර මුදා හැර ඇත. එවැනි තත්වයක් තුල පෙත්සම්කරුව ඊලග දිනයේ බන්ධනාගාරගත කිරීම නීතියට පටහැනි බව අධිකරණය තීරණය කරන ලදී. එමෙන්ම එවැනි තීන්දුවක් ලබා දීමට පෙර ස්වාභාවික යුක්ති මුලධර්ම අනුමගමන කල යුතු බවද අධිකරණය ප්‍රකාශ කරන ලදී.

අටසිල් ගැනීමට සහ ගිනි අවි භාර දීම වැනි නියෝග ලබා දීමට අධිකරණ බලයක් නොමැති බවද මෙම නඩු තීන්දුවේදී තීරණය කරන ලදී.

මහාධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක වීම මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය අත් හිටවූවද ඒ වන විටත් පෙත්සම්කරු මාස 5ක් බන්ධනාගාර ගතව සිට ඇත.

 

Julampitiya Amare
Generic selectors
Exact matches only
Search in title
Search in content