රාජ්‍ය භාණ්ඩාගාරයට අයත්ව තිබු West Coast සමාගමේ කොටස් 40% ක ප්‍රමාණයක් ඇමරිකාවේ ලියාපදිංචි New Fortress Energy සමාගමට විකිනීමට එරෙහිව මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනු කර තිබුණි. කෙරවලපිටියේ පිහිටි යුගදනවී බලාගාරය හිමිකාරිත්වය පැවතියේ West Coast සමාගමට වේ. එමනිසා කොටස් විකිනිමත් සමගම යුගදනවී බලාගාරයේ හිමිකාරිත්වයද New Fortress Energy සමාගමට හිමිවන බව වෘත්තීය සමිති අනතුරු ඇගවීය.
ශ්‍රේෂ්ටාධිකරණය විසින් මෙම ගනුදෙනුවට අදාළ සියලුම කරුණු දින 17කට ආසන්න කාලයක් දීර්ඝ කරුණු විමසීමකට ලක් කරන ලදී. එහිදී වූ සුවිශේෂී කරුණක් වුයේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් තිදෙනෙකු එම ගනු දෙනුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම සහ එම මතය අධිකරණයට ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ සේවය ලබාගෙන තිබීමයි.
නඩු විභාගයේදී, නීතිපති තුමා සහ ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහත්වරුන් කැබිනට් මණ්ඩලයේ සාමුහික මතයට පටහැනි මතයක් ඉදිරිපත් කිරීමට එරෙහිව දැඩි විරෝධතාවයක් අධිකරණයෙදී මතු කරන ලදී.
ඒ අනුව, දින 17ක දීර්ඝ කරුණු විමසීමකින් පසුව නඩු විභාගය තවදුරටත් විභාග කරනවාද නැද්ද යන්න තීරණය කිරීමත් අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද යන්න තීරණය කිරීම සදහා ශ්‍රේෂ්ටාධිකරණය නියෝගය ලබා දීමට නියමිතය.
ශ්‍රේෂ්ටාධිකරණයේ නඩු විභාග කරන කාර්යපටිපාටය සදහන් වන්නේ ශ්‍රේෂ්ටාධිකරණ රීතීන් තුලය. ඒ අනුව මුලින්ම තීරණය කලයුතු වන්නේ බලු බැල්මට (prima facie) පෙනෙන නඩුවක් පවතිනවාද යන්න තීරණය කිරීමයි (Granting Leave to Proceed). එහි ඔප්පු කිරීමේ භාරය පවතින්නේ පෙත්සම්කරුවන්ට වේ. එසේ විභාගය සදහා අවසර ලබා දෙන්නේනම් එම පෙත්සම් වලින් ඉල්ලා ඇති සහන ලබා නොදීමට හේතුන් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට විරෝධතා ගොනු කිරීමටත් එම විරෝධතා සදහා ප්‍රති විරෝධතා ගොනු කිරීමට පෙත්සම්කරුවන්ටත් අධිකරණය කාලය ලබා දේ. එම සියලුම කරුණු සලකා බලා අවසන් විභාගය ශ්‍රේෂ්ටාධිකරණය සිදු කරනු ලබයි.